My Story

My Thoughts,My Experiences and something more....


ඒ කාලෙ දැන් වගේ pen drives තිබුනෙ නෑ.CD උනත් කලාතුරකින් පාවිච්චි කලේ.DVD කියන නමවත් අහල තිබ්බෙ නෑ.ඒ කාලෙ  තැනින් තැනට data ගෙනිච්චෙ floppy disk වල.මටත් ඒව 2ක් තිබුන.ඒ කාලෙ හිතුවෙ ඒව තමයි data ගෙනියන්න තියන හොඳම ඒව කියල.වැඩේ කියන්නෙ ඒවයෙ capacity එක 1.44MB .හිනාත් යනව දැන්නම්.එතකොට අවශ්‍ය වැඩ කරගත්තෙ කොහොමද කියල හිතද්දිත් පුදුමයි දැන්. එතකොට කලේ word document එකක්, excel document වගේ දේයක් save කරගන්න එක නිසා ඒක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ.ඒ කොහොමහරි අපි තමයි floppy disk අවසන් වරට පාවිච්චි කලේ. මගෙ floppy එක තවමත් මා ලඟ තියෙනව.

දැන් සින්දු අහන්න ක්‍රම ගොඩක් තිබුනට ඒ දවස්වල එහෙම නෑ.රේඩියෝ එකයි, කැසට් පට තමයි ඒකට ගත්තෙ.එක කැසට් පටයක සින්දු 16ක් විතර තියනව.එහෙම ඒව ගොඩක් තියන් හිටිය ඉස්සර.දැන්නම් ඒව ඇත්තෙම නැති තරම්.කැසට් පටයක් හා පෑනක් අතර සම්බන්ධය ඒව දැකල තියන ගොඩක් අය දන්නව. කැසට් පටයක් වැඩ කරන්නෙ නැතුව ගියාම ඒක ඇතුලෙ තියන පටි ඇදල අරන් ඒවයෙන් මොකක්හරි විකාර සෙල්ලමක් කරපු වෙලාවලුත් තිබුන.

පොඩි කාලෙ අපේ ගමේ ගොඩක් අපේ වයසෙ අයගෙ ආශාවක් උනේ බයිසිකලයක්(පා පැදියක්) ගන්න එක.මුලදි ඒව තිබුනෙ ටික දෙනෙක්ට උනාට ටික කාලෙකින්ම ගොඩක් අය බයිසිකල් අර ගත්ත.ඒ ගොඩක් ඒව අලුත් අලුත් විදිහෙ ලස්සන බයිසිකල්.ඒව අරන් හරි උජාරුවෙන් පැදන් ගියෙ ගම වටේ.ඒ සමහර ඒවයෙ ගියර් එහෙමත් තිබුන.මට බයිසිකලයක් අරන් දෙන්න කලින් මම ඉඳල හිටල තාත්තගෙ බයිසිකලේ පැදල පුරුදු උනා.මට බයිසිකලයක් අරන් දුන්නෙ මම හිතන්නෙ මට අවුරුදු 7,8ක් උනාම.ඒකෙ බ්‍රේක් නැතුව පැදපු අවස්ථා ඇති තරම් තිබුන.දැන්නම් බයිසිකල් පදින්නෙම නැති තරම්.



ඒ කාලෙ කොම්පියුටරේ කියන්නෙ අපේ පුංචි හිත්වලට අරුම පුදුම, සුඛෝපභෝගී භාණ්ඩයක්.කොටින්ම කිව්වොත් computer එකක් ඇස් දෙකෙන් දැකලවත් තිබුනෙ නෑ.පත්තරවල තිබුනු රූප වලින් තමයි දැකල තිබුනෙ.ජීවිතේ පලවෙනි වතාවට කොම්පියුටරයක් දැක්කෙ ඉස්කෝලෙ 4දි හරි 5දි හරි.ඒ මෙහෙමයි.අපේ කන්ද උඩ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් රට ගිහින් ඇවිත් අපේ ඉස්කෝලෙට computer එකක් පරිත්‍යාග කරල.ඒක තමයි අපේ ඉස්කෝලෙට හම්බවුනු පලවෙනි computer එකත්.ඒකෙ Windows 95 තිබුනෙ .ඉස්කෝලෙ ළමයිව පෝලිමේ එක්කන් ඇවිත් අපිට කොම්පියුටරේ පෙන්නපු හැටි මට තවම මතකයි.එදා ඉඳන් මගෙ හිතේ computer එකකට ලොකු ආසාවක් තිබුනෙ.ඊටපස්සෙ windows 98,windows 2000,windows NT ,windows 2000 professional, windows XP, windows vista, windows 7 දැන් Windows 8 තියෙන්නෙ.

මම කොම්පියුටරේක ගහපු මුල්ම games තමා Mario, Dave, cricket .ඒව තමා ඒ කාලෙ සුපිරිම games.ඒව ගැහුවෙත් මම 7 වසරෙ වගේ ඉන්නකොට.ඒව ගැහුවෙ windows 98,2000 වල.ඒ කාලෙ ඒවයින් අපි "ඉහල වේගයක් " අත්වින්ද. ඒ කිව්වෙ අපි ඒ කාලෙ හිතුවෙ ඒ computer වල වේගෙ තමා හොඳම වේගෙ කියල. ගොඩක් වෙලාවට වැඩ කලේ Pentium ii, Pentium iii වගේ computers වල.Pentium iv තමයි එතකොට සුපිරිම කොම්පියුටර්.මම 7 වසරෙදි මෙහෙම වැඩ කලේ TEC (Sri Lanka) ආපු නිසා.ඒකෙ lab එකේ තිබුනු computers ගැන තමා මේ කිව්වෙ.TEC(Sri Lanka) තමා ඒ කාලෙ තිබුනු ප්‍රසිද්ධම,විශාලම පරිගණක පාසල් ජාලය. TEC(Sri Lanka) යන එක ලොකු ගෞරවයක් විදිහට තමයි ගොඩක් ලමයි සැලකුවෙ.මම ගියෙ ගම්පහ ශාඛාවට.
එහෙම එකේ ඉතින් internet ගැන හීනෙවත් හිතුවෙ නෑ ඒ කාලෙ.


අපි සහස්‍රක 2ක ජීවත් වෙන්න වාසනාව ලබපු අය.2 වෙනි (1000-1999) හා 3වෙනි සහස්‍රක වල අපි ජීවත් වෙනව.එහෙම සහස්‍රක 2ක් අත්විඳින්න ලැබීම විරල අවස්ථාවක්.වසර 2000 පැමිනෙනකම් නිදාගන්නෙ නැතුව රෑ ඇහැරගෙන හිටපු හැටි දැන් මතක් වෙනව.ඒ දවස්වල ඒක පිලිගත්තෙ බොහොම සාදරයෙන්.ඒ දවස්වල අපේ ගෙදර තිබුනෙ කලු සුදු ටීවී එකක්.(Black & white ) වර්ගෙ National .2000 අගෝස්තු 28 වෙනිද Colour ටීවී එකක් ගේනකම් අපි වැඩසටහන් බැලුවෙ කලු සුදු ටීවී එකෙන්.

ඒක අඟල් 14 ටීවී එකක්.ඒකෙ පෙනුනෙ channel 3ක් විතරයි. ජාතික රූපවාහිනී,ITN, Channel eye  තමා ඒ 3.ඒ කාලෙ ජාතික රූපවාහිනියෙ තිබුන හරි ලස්සන ලමයින්ටම හදපු වැඩසටහන් ගොඩක්.දැන් වගේ නෙමෙයි.ඒ නිසා නාලිකා 3ක් විතරක් තිබුන කියල කිසිම අඩුවක් තිබ්බෙ නෑ.විශේෂයෙන්ම ටයි මාමගෙ වැඩසටහන් ,අතුල රන්සිරිලාල් මාමගෙ වැඩසටහන් 100පාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ.ඒ වගේ වැඩසටහන් ටිකක් ගැන පස්සෙ කියන්නම්.

අපේ වයසෙ ,ඒ ලඟ වයස්වල අය තමා පාරෙ සෙල්ලම් කරපු අවසන් පරපුර.දැන් පාරෙ සෙල්ලම් කරන්න ඉඩක් නෑ.ඒ දවස්වල අපි පාරෙ ඇති තරම් සෙල්ලම් කලා.උදේම සෙල්ලම් කරන්න ගියාම ආයෙ ගෙදර එන්නෙ දවල්ට කන්න.ඊටපස්සෙ ආයෙ දුවනව සෙල්ලමට.ගොඩක් වෙලාවට ආයෙ ගෙදර එන්නෙ රෑ 7.30ට විතර උනාම.
ලංකාවෙ මුලින්ම වීඩියෝ ක්‍රීඩා(video games) සෙල්ලම් කලේ අපේ පරපුරේ අය.ඒ කාලෙ PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads , Broadband මුකුත් තිබුනෙ නෑ.පොඩි game එකක් ගහන්නත් තිබුනෙ ප්‍රමානෙන් ටිකක් ලොකු Devices.දැන් hand phone වලත් ගොඩක් games තියෙනව.ඒ කාලෙ ඉඳල හිටල ගෙදරක තමයි phone තිබුනෙ.අපේ ගෙදරටත් මුලින්ම phone එකක් ගත්තෙ මට මතක විදිහට මම 9දි හරි 10දි හරි.ඒ කිව්වෙ 2004/2005 වගේ.ඒක handphone එකක්.ඒ දවස්වල call එකක් ගත්තම විනාඩියට රු.13ක් වැය උනා.(dialog) දැන්නම් ඒ ගාන ගොඩක් අඩු වෙලා.


1 වසරෙ කියවීම් පොතේ තිබුනු පාඩමක් මට හොඳට මතකයි.ඒක ගැන තියෙන්නෙ සුන්දර මතකයක් නිසා ඒ ගැන ලිව්වෙ. අමර,නයනා සල් ගස යට ඉඳන් කරන දෙබස තමා මට ඉස්කෝලෙ කියවීම් පොතක හම්බුනු සුන්දරම පාඩම.මගෙ වයසට ආසන්න වයසක ඉන්න ඕනම කෙනෙක්ට ඒක මතක ඇති කියල මම හිතනව.

 මට මතක තියන පුංචිම කාලෙ දවස මොකක්ද කියල හරියටම තේරුමක් නැතත්,( මම හිතන විදිහට අවුරුදු 3 දි වගේ) මට හරියට ඇවිදින්නත් අමාරු කාලෙක උනු සිදුවීමක් මතකයි.එදා ගමෙ අම්ම(තාත්තගෙ අම්ම ) අපේ ගෙදර එනව දැකපු මම එයාට කෑගහල කිව්ව "ඔයා එන්න එපා,ඔයා මට කතන්දර කියාදෙන්නෙ නෑ" කියල.කොහොමහරි එදා කතන්දරයක් කියාදෙන්න ඇති මට.ඒව මතක නැනෙ.

මට අවුරුදු 4දි තමයි මල්ලි ඉපදුනේ.අපි දැන් ඉන්න වත්තෙම තිබුනු ගෙදරක තමයි අපි දැන් ඉන්න ගෙදරට එන්න කලින් හිටියෙ.ඒ ගෙදර කඩයකුත් දාල තිබුනෙ අම්මල.දවසක් ඒ කඩේට බඩු ගන්න ආපු අය්ය කෙනෙක්ගෙ රු.100 නෝට්‍ටුවක් මම ඉරල දැම්ම් මතකයි. ඒ කාලෙ 100ක් කියන්නෙ ලොකු ගානක්.මට අවුරුදු 3දි විතර මට මල්ලියෙක්වත්,නංගියෙක්වත් හිටපු නැති නිසා මම තනියම ගෙයි එලියෙ බිත්තියෙ අඟුරු කෑලිවලින් කුරු‍ටු බලි ලිව්ව මතකයි.

මට පොඩිම කාලෙ හිටපු යාලුවො ටිකක් තමයි දිමි කියන්නෙ.උන් එක්ක මම ගොඩක් සෙල්ලම් කරල තියෙනව.ඒ කාලෙ අපේ වැටේ තිබුනු මල් ගස්වල දිමි ගො‍ටු ගොඩක් තිබුන.වෙලාවක උන් මාව හොඳටම කෑව.ඒ කාලෙ අම්ම මාව බය කරන්න ඕන උනොත් කියන්නෙ ගෙයි බැඳල දිමි ගොට්ටක් ගෙනත් දානව කියල.දැන්නම් දිමි කොහෙවත් පේන්න නෑ.තාත්තනම් හොඳටම ගහනව මට.මම එහෙම වෙලාවට කරන්නෙ බේරෙන්න දුවන එක.එතකොට තාත්ත මට පොල් ලෙලි වලින් දමල ගහනව වෙලාවකට.පොඩි කාලෙ මම හොඳට ගුටි කාල තියෙනව.



මේ දවස්වල වහින වැස්ස පටන් ගත්තෙ මාස ගානක් පායල තිබිල.අපේ ලිඳේ වතුර හි‍ඳෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමා වැස්ස පටන් ගත්තෙ.වැස්ස නිසා ගස් වැල් සරුවට වැඩෙනව.වහිද්දි කම්මැලි උනත් වැස්ස වෙලාවට, වැස්සකින් පස්සෙ පරිසරය සොබා දහම හරිම ලස්සනයි.හබරල කොල,කෙසෙල් කොල උඩට වතුර වැටිල ඒව බිමට වැටෙන් හැටි,ගස් කොලන්වල තිබුනු දූවිලි හේදිලා ගිහින් ඒව ලස්සන වෙන හැටි,අලුතින් දලු ලියලන ගස්, හවසට වැස්සෙන් පස්සෙ මීදුම,තෙමිච්ච කුරුල්ලො මේ ඔක්කොම හරි ලස්සනයි.නගරෙක ඉන්න අයට ඒව දකින්න ලැබෙන්නෙ නෑ.අපි ඉන්නෙ නගරෙත් නෙමේ.හැබැයි ඒක ගමක්ම කියන්නත් අමාරුයි.ඒත් පැත්ත ලස්සනයි,දැන් ගොඩක් ඉඩම්වල ගෙවල් හදල උනත් තවමත් මෙහෙ ලස්සනයි. පොඩි කාලෙ ඊටත් වඩා ලස්සනට තිබුන මෙහෙ.ඒ කාලෙ වැස්සෙත් සෙල්ලම් කලා.දැන් එහෙම කරන්නෙ නෑ.

ඒත් වැස්සම ඉස්සර මෙහෙ හෝදගෙන යනව, තැන් තැන්වල මඩ වලවල් හැදෙනව.ගේ ඉස්සරහ පාරෙ ඉස්සර ලොකු මඩ වලක් හැදෙනව.දැන්නම් ඒක ගොඩක් දුරට වැහිල,ඒත් තවමත් තියෙනව.සමහර වෙලාවට ගස් කඩා වැටෙනව, අපේ වත්ත පහල පොල් අතු කඩා වැටෙනව .



මේ දවස්වල වහිනව ඉවරයක් නැතුව.ගෙයින් එලියට යන්න කම්මැලි තරමට වහිනව.මේ ඉතින් පටන් ගත්තෙ වස් සමයනෙ.අපේ අලුත් පන්සලෙත් මේ දවස්වල වස් පිංකම් කෙරෙනව.තාම අලුත් පන්සල නිසා බණ මඩුවක් හදලත් නෑ.එ නිසා වැස්සට සෙනගට ඉන්න බෑ.මේ ලඟදි දවසකත් බෝධි පූජාව තියන්න ගිහින් වැහැපු නිසා එදා පූජාව තියන්න බැරි උනා.ඒ නිසා පොඩි බණ මඩුවක් මේ දවස්වල ඉක්මනට හදාගෙන යනව.ඒකට අපේ අම්මල ගොඩක් දේවල් වලින් දායක උනා.තව මේ පෝයට තියන අට විසි පූජාවටත් දායක උනා.කොහොමහරි පන්සලේ විස්තර හොයල හොයල දානයක් අරගන්නත් පුලුවන් උනා.31 වෙනිදට තමා අපිට හීල් දානෙ දෙන්න තියෙන්නෙ.

පන්සලේ තව කරන්න වැඩ ගොඩක් තියෙනව.තවම චෛත්‍යක් ,බුදු ගෙයක් හදලත් නෑ.බෝධීන් වහන්සේ තවම චූටි.අඩුම ගානෙ තවම විදුලිය අරගෙනත් නෑ.ඒ ඉඩම ලියාපදිංචි කරන්න පමා උන නිසා.ලඟක් වෙනකම් පන්සලට විදුලිය ගත්තෙ ඊට ඉස්සරහ ගෙදරින්.මේ ලඟදි දවසක් ඒ ගෙදර මිනිහ බීල ඇවිත් පූජාව ප්ටන් ගන්න ඔන්න මෙන්න තියල පන්සලට ඇවිත් පොඩි හාමුදුරුවන්ට සැරෙන් කතා කලා.ඒත් ගමේ මිනිස්සු ඒ මිනිහව ආපහු එක්කන් ගියා ගෙදරට.ඊටපස්සෙ එයා කලේ පන්සලට දීල තිබුනු විදුලිය නතර කරපු එක.එදා කොහොමහරි පූජාව තිබ්බ.ඊටපස්සෙ එදා රෑම දායකයො ටික වෙන ගෙදරකින් විදුලිය ගත්ත පන්සලට.

පන්සලේ බෝධි පූජාවට හැමදාම ගමේ ගොඩක් අය සහභාගි වෙනව.ඒකට ප්‍රධානම හේතුව පොඩි හාමුදුරුවො.උන්වහන්සේ ලස්සනට ගාථා කියල මිනිස්සුන්ගෙ හිත ඇදෙන විදිහට කතා කරල පූජාව තියනව.අපිත් මේ දවස් ටිකේ හැමදාම වගේ 7 විතර වෙද්දි පන්සලට යනව.



මෙයා තමයි අපේ ගෙදර ඇති කරන බල්ල.නම වයිටා.ඌ අමුතු බල්ලෙක්.ගෙදර අයට ගොඩක් ආදරේ බල්ලෙක්.කවුරුහරි ගමනක් ගිහින් ආයෙ ගෙදර ආවම ඉස්සරහට ඩුහ්වගෙන ඇවිත් ඇඟේ එල්ලි එල්ලි පිලිගන්නව.රෑටත් ගෙදරින් කොහෙවත් යන්නෙ නැතිව ගෙදර මුර කරනව.තව උගෙ ගැන ගොඩක් දේවල් කියන්න පුලුවන් උනත් මේ ඇති කියල හිතෙනව.


වසර 34කට පසුව ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද කපිල වස්තු ධාතූන් වහන්සේලා පුරා දින 3ක් ප්‍රදර්ශනය කිරීමට තබා තිබුනේ කැලණිය මානෙල්වත්ත විහාරයේය.ඊයේ උදෑසන මම,අම්මා හා නංගි කැලණි මානෙල්වත්ත විහාරයට ගියේ එම ධාතුන් වහන්සේලා වැඳ ගැනීමට.

එදා හිතුවට වඩා මහ සෙනගක් ඇවිත් හිටපු නිසා පෝලිමේ ගොඩක් වෙලා අපිට ඉන්න උනා.පෝලිමට එනකොට වෙලාව 1.15ට විතර ඇති.ධාතුන් වහන්සේලා වඳින්න පුලුවන් උනේ රෑ 11.15ට විතර.එච්චරටම පෝලිම්වල සෙනග.ඒ අතරමග පෝලිමේ ඉන්නකොට බිස්කට්,බීම,තේ දන්සැල් අඩුවක් නැතිවම තිබුන.එක්කෙනෙක්ට මාරි පැකට් 10,12 බෙදාගෙන ගියා පන්සල ලං වෙනකොට.පැය ගානක් පෝලිමේ හිටගෙන හිටපු නිසා කකුලුත් එවෙලෙ හොඳටම රිදි රිදි තිබුනෙ.

කොහොමහරි අමාරුවෙන් පන්සල ඇතුලට ගියාම එලියෙ තිබුනටත් වඩා පෝලිමක් පන්සල ඇතුලෙ.එවෙලෙ යන්තම් පිනකට වගේ අපිට ඉක්මනට ඇතුලට යන්න ලැබුන.ඊටපස්සෙ ධාතුන් වහන්සේලා වැඳ ගත්ත.




එහෙම ටික ටික විභාගෙත් ලං උනා.විභාගෙ ලං වෙලා ඉස්කෝලෙ තියපු exam එකෙන් මං පන්තියෙ පලවෙනිය උනා.විභාගෙ ලං වෙලා වෙනද වගේ පාඩම් කලා.විභාගෙ තිබුනෙ 2000 අගෝස්තු 13 වෙනිද.එදා උදේ ඉස්කෝලෙට ගියාම යාලුවො ගොඩක් අය ඇවිත් හිටිය.එතනට ගියාම යාලුවො මගෙන් ඇහුවෙ "කොයි නැකතින්ද එලියට බැස්සෙ ?" කියල.බලද්දි යාලුවො ගොඩක් අය ඇවිත් තියෙන්නෙ නැකැත් එහෙම බලල.මම ඉතින් එහෙම බැලුවෙ නෑ.9 ට විභාගෙ පටන් අරගත්ත.paper එක මට ගොඩක් දුරට ලේසි උනා.රචනාවට ඇවිත් තිබුනෙ "කන්දක් උඩ නැග සිටින මා" කියල.එක ලියල එනගමන් class teacher හම්බ වෙලා ඇහුව "කන්ද උඩට නැග්ගට පස්සෙ ඒවද ලිව්වෙ, නැගපු විදිහද " කියල." කන්ද උඩ නැග්ගට පස්සෙ ඒව" කියල කියාගෙන ඇවිත් මම ගෙදර ආව.එදා හිතෙන් ලොකු බරක් නිදහස් උනා වගේ දැනුනෙ.

ඔහොම ටිකක් කල් ගියාම ප්‍රතිඵල එන දවසත් ලං උනා.ප්‍රතිඵල ආවෙ 2000 ඔක්තෝබර් 2.එදා ඉස්කෝලෙට ගියෙ ආසාවෙන් වගෙම පොඩි බයකිනුත් එක්ක. ටික වෙලාවකින් අපේ පන්තියෙ ළමයෙක් ඇවිත් සමහර ළමයිගෙ ලකුනු කිව්ව.එයා කිව්වෙ මගෙ ලකුනු 72යි කියල,මට එවෙලෙ බය හිතුන.ඒත් ටික වෙලාවකින් ටීචර් ඇවිත් කිව්ව මගෙ ලකුනු 172ක් කියල.පන්තියෙ වැඩිම ලකුනු, ඉස්කෝලෙන් 3 වෙනියට වැඩිම ලකුනු තිබුනෙ මට.අපෙ පන්තියෙ ළමයි 5 දෙනෙක් වෙලා තිබුන.හරිත ලකුනු 171ක් අරන් තිබුන. මටයි,එයාටයි එකම ඉස්කෝල හම්බ්වෙයි කියල නිකමට හිතුන.ඇත්තටම ඒක එහෙම උනා.මට එදා හරිම සතු‍ටු  දවසක්.අම්මයි,තාත්තයිත් එදා ගොඩක් සතු‍ටු උනා.


5 වසර කිව්වම මතක් වෙන්නෙ ශිෂ්‍යත්වෙනෙ.මාත් ඒ කාලෙ ශිෂ්‍යත්ව පන්ති ගියා.ඒ අනෝමා හෙට්ටිආරච්චි කියල ටීචර් කෙනෙක්ගෙ පූගොඩ class.ඒකෙදි කරපු ගොඩක් papers වලට මට ආවෙ අසූ ගණන් තමා.සමහර වෙලාවට අනූ ගණනුත් ආව.මම ගොඩක් මහන්සි උනේ ලකුණු ගොඩක් ගන්න තියන ආසාව නිසා.කොලඹ ඉස්කෝලෙකට යන්නත් ලොකු ආසාවක් තිබුන.ඒ class එක තිබුන ඉරිද හවස.එක ඉවර වෙලා ගෙදර එනකොට 6 විතර වෙනව එතකොට.ඒ කාලෙ මගෙ ආසම වැඩසටහනක් තමා මායා බන්ධන(spell blinders).ඒක තිබුනෙ 5.30ට නිසා class එක ඇරිල ඉක්මනට දුවන් එනව ගෙදර.ඒත් ඉතින් ගොඩක් වෙලාවට ඒක බලන්න හම්බුනේ නෑ.අගෝස්තු වලින් පස්සෙ බලන්න බැරියැ කියල හිතන් class ගියෙ ඒ නිසා.

5 වසරෙදි අපේ class teacher උනේ මාහින්කන්ද කියල ටීචර් කෙනෙක්.එයා හොඳ teacher කෙනෙක්.5 වසරෙදි මම ශිෂ්‍ය නායකයෙකුත් උනා.එතකොට ප්‍රධාන ශිෂ්‍ය නායකය උනේ හරිත.මට තමා ඒ නිසා පන්තිය බලාගන්න, ලමයිව නිශ්ශබ්දව තියගන්න උනේ.පන්තියෙ හිටියෙත් නාහෙට අහන්නෙ නැති ළමයි ටිකක්.ශිෂ්‍ය නායක badge එක පෙන්නල ඒකෙ power එකෙන් තමයි ගොඩක් අයව බය කලේ.

දවසක් එහෙම ළමයිව නිශ්ශබ්ද කර කර ඉන්නකොට පන්තියෙ ශිෂ්‍ය නායිකාව, ඕශධී යාලුවෙක් එක්ක කතා කර කර ඉන්නව දැකල මට හොඳටම තරහ ගියා.2පාරක් හිතන්නෙ නැතුව මම එයා ලඟට ගිහින් හයියෙන් ඇන්න හොඳ ටොක්කක්.මෙන්න එයා අඬන්න ගත්ත. මටත් එවෙලෙ තමා තරු පෙනුනෙ.ටොක්කක් ඇන්නට ඕක අඬන්න දෙයක්යැ.කොහොමහරි පන්තියෙ ලමයි 2,3දෙනෙක් ගිහින් වෙන ටීචර් කෙනෙක්ට ඒක කියල මාව එයා ලඟට එක්කන් ගියා.
ඊලඟ දවසෙ එනකොට අම්මයි,තාත්තයි එක්කන් එන්න කියල කිව්ව.ඒත්  ඉතින් මං ඒක ගෙදර ගිහින් කිව්වෙ නෑ.ඒ ටීචර්ටත් ඒක මතක තිබ්බෙ නෑ. ඕශධී තමයි 6,7 වසර වලදි මගෙ හොඳම යෙහෙලිය උනේ.


මම මුලින්ම දහම් පාසල් ගියෙ 2 වසරෙදි.ඒ කිරිඳිවේල එක්සත් බෞද්ධ බල මණ්ඩල දහම් පාසලට.ඒකෙත් හිටපු ගොඩක් අය ඉස්කෝලෙ පන්තියෙ යාලුවොම නිසා එතන අමුතු පරිසරයක් උනේ නෑ.මේ තියෙන්නෙ මම 3 වසරෙ දහම් පාසලේදි ලියපු පොතක්.



මතක විදිහට 3 හරි 4 වසරෙදි හරි දහම් පාසලේ ටීචර් කෙනෙක් උත්සවයක් organize කලා.ඒකෙ තිබුනු නාට්‍යකට මම හිටිය.මහින්දාගමනය තමා ඒක.ඒකෙ මිහිඳු හිමිට හිටියෙ මම. නාට්‍ය මැදක් යනකොට තිස්ස නිරිඳුට හිටපු කෙනා මා ඉස්සරහට ඇවිත් දන ගහන් වැඳගෙන මුකුත් නොකිය බලන් ඉන්නව.බලද්දි එයාට දෙබස් අමතක වෙලා.මම එයාට කටින්  කිව්ව එයා කියන්න ඕන දෙබස් ටික.ඒක නාට්‍ය බලන්න ආපු හැමෝම දැකල.


මම මුලින්ම ඉස්කෝලෙ ගිය දවසෙ මාව භාර දීල අම්මල ගෙදර යද්දි හොඳටම ඇඬුව මතකයි.එහෙම මගෙ මුල්ම පන්තිය උනේ 1C. 1 වසරෙ විශේෂයෙන් මතක හිටින දෙයක් තිබුනෙ නැතත් එතකොට කරපු සමහර දේවල් මතකයි.2 වසරෙදි උනේ ජයන්තා කියල කෙනෙක්.එයා මට හරි ආදරෙයි.ඒත් දවසක් මම එකේදි ළමයෙක් එක්ක 

ගහගත්ත.එවෙලෙ ටීචර් පන්තියෙ හිටියෙ නෑ.ඒත් වලිය ටිකක් වෙලා ගියාම කවුරු හරි කෙනෙක් මටයි,අනිත් ළමයටයි ගහනව තේරුනාමයි දැක්කෙ ටීචර් ඇවිත් අපි දෙන්නට ගහනව.එදායින් පස්සෙ මම කා එක්කවත් ගහගන්න ගියෙ නෑ මතක විදිහට.
ඒ ටීචර් මා ගැන කොච්චර හොයල තිබුනද කිව්වොත් දවසක් අපේ අම්මට කිව්වලු "ළමයට අහු වෙන ඕන දෙයක් කියවන්න දෙන්න, බස් ටිකට් එකක්හරි කමක් නෑ" කියල.

3 වසරෙ හිටපු ටීචර් ගැනනම් මගෙ ප්‍රසාදයක් නෑ.එයා නිතරම මාව කපන්න හදපු නිසා මම එයාට ආස කලේ නෑ.අපේ ඉස්කෝලෙ වෙනියා දුන්නෙ 4 වසරෙ ඉඳන්.ඉතින් 4වසරට ගියාම මම පළවෙනිය උනා පන්තියෙ.ඒ කාලෙ මගෙ හොඳම යාලුව උනේ හරිත කියල කෙනෙක්.එයා තමයි පන්තියෙ 2වෙනිය උනේ.ඊටපස්සෙ 5 වසරටත් ආව.

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive